ජීවිතය, සොබාදහම හා ආදරය

ස්වභාව සෞන්දර්යයේ ලාලිත්‍යවත් රිද්මය දෙව්ලොව හා සම කරන්නට ඔබට හැකි ද? නේක වර්ණයන්ගෙන් සුපුෂ්පිත පුෂ්පයන්, කන්කලු නාද රටාවන්ගෙන් සිත මන්මත් කරනා කුරුලු කූජනයන් හා නෙත් සිත් චමත්කාරයෙන් සනහාලන ඉඳුනිල් මිණි ජල දහරාවන්… තෙරක් නොපෙනෙන අහස්තලය සිඹ සිඹ සනහන කඳු ශිඛරයන්… මේ සියල්ල හා සුසංයෝගී වූ අනේක විධ සෞන්දර්යයන් හා ඒකාත්මික වූ විට දෙව්ලොව වඩාත් සුන්දර යැයි කිව හැක්කේ කෙසේ ද?

මේ මිහිතලයේ අපූර්ව විවිධත්වය තරම් අප නෙත සිත සනහාලන තවත් අරුමයක් වේද? සුන්දරත්වය විඳීමට නම් සුන්දර හදවතක් තිබිය යුතු බව ඔබ දන්නවාද? හිතක් සුන්දර වන්නේ සංවේදී මනසකින් හා විවෘත නෙතකින් ලොව දෙස බැලිය හැකි නම් බව ඔබ දන්නවාද? අප සියල්ලන් ම ජීවත්වන්නේ මේ එක ම මිහිතලය මතයි. මේ මිහිතලයේ අපූර්ව නිමැවුම් සියල්ල නිර්මාණය වී ඇත්තේ අප සියල්ලන් ම උදෙසා ය. එහෙත් ඒ සුන්දරත්වය විඳින්නේ දකින්නේ කීයෙන් කී දෙනා ද?

නාගරික පරිසරයේ ඒකාකාරිත්වයෙන් යුතුව පූට්ටු කොන්ක්‍රීට් ගොඩනැඟිලි නිති පතා දකින අප ඒ අතරේ පවතින අතිශය ඉසියුම් සොබාදම් නිර්මාණ වෙන් කොට ගෙන රස විඳින්නට හුරු වන්නේ නම් ජීවිතය කෙතරම් සැහැල්ලුවට පත්වේද? මහ අනෝරා වැස්සේ වැස්සට නොබැන, ඒ වැස්ස ඔබට එක් කළ කරදරය ගැන නොසිතා වැස්සේ චමත්කාරය ගැන ඔබට සිතිය හැකි නම්… මහ වැස්සෙන් බේරීමට කුඩා කුඩයක් ඉහළා ගෙන අනේක වාරයක් වැස්සට සිතින් දොස් පවරමින් සිටින නිමේෂයක ඔබ අබියස තාර පාර මතට වැටෙන වැහි බිඳු උක්මලක් මෙන් විසිරී යන අයුරු විඳින්නට හැකි නම්, ඔබ අමන්දානන්දයට පත්වනු ඇත.

ගම්බද නාගරික බේදයකින් තොරව ඕනෑ ම ගෙවත්තකට පියඹා එන පොල්කිච්චා නොනවත්වා විනාඩි 10 ක් පමණ ගයන ශෝකී ගී රාවය නිසොල්මන් ව අසා සිටින්නට ඔබට ඉසිඹුවක් ලැබී තිබේද? කවුඩු පනික්කියන් එකිනෙකාගේ මුහුණ දෙස බලාගෙන පැය ගණන් තොරතෝංචියක් නොමැතිව කතා කරන්නේ මොනවා දැයි ඔබ මොහොතකටවත් සිතා තිබේද? කොළඹ නුවර මාර්ගයේ බැලුම්මහර හන්දියේ වෙල්යායත් සමඟ පාරට මායිම් ව තිබෙන ගස් සමූහයේ හැන්දෑ කළුවර වැටීගෙන එන නිමේෂයට නන් දෙසින් පියඹා එන කොක්කු රෑන් ලැඟුම් ගන්නා අයුරු ඔබ දැක ඇතුවාට සැක නැත. සවස හත පමණ වන විට ගසේ එක කොළයක් හෝ නොපෙනෙන තරමට ඒ ගස් කොක්කුගෙන් වැසී යයි. එය ඈතට දිස්වන්නේ සුදු මල් පොහොට්ටු සමුදායක් ලෙසිනි. සැදෑ කළුවර පරයමින් නැඟෙන සුදෝ සුදු මල් පොහොට්ටු වියනක් හා අනන්තය නොපෙනෙන අහස්තලය සිතට එක්කරන චමත්කාරය කෙතරම් ද? ඔබ දිනපතා පසුකරගෙන යන මඟ තොට ඉඳහිට හමුවන සොබා දහමේ අපූර්ව නිමැවුම් ඔබේ නෙතට සුවිශේෂී ව හසුවන්නට නම් ඔබ සොබාදහමට ආදරය කරන්නට පටන් ගත යුතු ය.

සොබා දහම අපට දෙන්නේ ලොව අනර්ඝතම හා වටිනා ම දේ බව ඔබ, ඔබ මනසට ඒත්තු ගන්වන්නේ නම් මේ ලොව පවතින සියලු දේ සුන්දර බව ඔබට වැටහෙනු ඇත. ඒ සුන්දරත්වය පෙරළා ඔබේ ජීවිතය වඩාත් හැඩ ගස්වන බව ද ඔබට වැටහෙනු ඇත. සොබාදහමට අසීමිත ව ආදරය කරන්න. පෙරළා සොබාදහම ඔබ නිවා සනහාලනු ඇත.

වෙනස.

ගමට කලින් හිරු වැඩියට
මොළවන්නට ලිපක් කොහිද…..
ළඳු දෙණිවල ඇවිද ගිහින්
මිටි බඳින්න දර කොයින්ද…..
රටා තියල අමදින්නට
වැලි මිදුලක් මෙහෙ කොයින්ද
නිල් තණකොළ හැඩට වවපු
සිමෙන්ති බිම හතර වටේ
වෙරළු දං හිඹුටු මෙහෙ නෑ
බෙහෙතකටත් හොයා ගන්න
ගෙදර යන ගමන් ගන්නට
ගහෙන් කැඩුව නැවුම් ඒවා
දිය පාරේ තිත්ත පැටවු
උඩ පැන පැන නටන්නෙ නෑ
ගේ ඇතුළෙ ම මහා පොකුණු
ගෝල්ඩ් ෆිෂ්ලා, සින්දු කියන
දෙ ඇස් පොවන හැම මානෙම
විසල් පවුරු අහස උසට
පීදෙන නිල් කෙත්වතු නැහැ
නිල් අහසට සිනා සලන
හමන සුළඟ සිහිලක් නෑ
ගිනි ගත් හිත් නිවාලන්ට
ගමේ පැලට වැඩිය සැපක්
මෙහි තියේද සොයා ගන්න

ඇයිද මේ වෙනස්කම?

මහ මෙර පලා ගෙන දිය කඳ ඇද හැලෙන
කටු අතු ඉරාගෙන සුවඳැති මල් පිපෙන
කොවුලන් ඇවිත් වන මැද සිට ගී ගයන
හිරු දෙවි උරණ වී මහ වැසි ඇත වැටෙන

මුදලට ලොවම වනයේ ගහකොළ කපන
ගජමුතු සොයා ඇතු මර මර බිම දමන
රසකර බුදින දිව දික්කර රස විදින
වනයේ සතුන් වෙඩි උණ්ඩෙට දිවි පුදන

කම්පාවෙලා මිහිකත උරණව සිටින
ගංගා ගලා ලොව ජලයෙන් යට කරන
ලැව් ගිනි දවාදෙන දඬුවම් අද විදින
ගිනි කඳු පුපුර පුපුරා උණුසුම බෙදන

වනයේ පිපුණ මල බිම දා පර කරන
ඉටියෙන් සදා මහ ඉහලින් එය කියන
ගල්වා සුවඳ වර්ණය ඇති මවිත වන
වනයේ පිපුණ මල හැකිවෙද පරදවන

දුකයි නේද?

පුංචි දවස් වල වගේ,
ඒ ආදරේට……
මම අදටත් ආදරේ නැතුව නෙමේ…….
තාත්තා දන්නවද?
තාත්තා කියා දීපු කතා මට…….
අමතක නැතුව නෙමේ…….
වැරදි වැඩ කළාම
සමාව දෙන්න බැරි තරමටම
මුරණ්ඩු වුනාම
මගේ හිත නොරිදන්න බැරි කමට,
මට බැන්නෙ නැතිව හිටිය හැටි
මතක නැතිව නෙමේ……..
දකින දකින දේවල් ඉල්ලලා අඩපුවාම,
අරන් දුන්නෙ නැති වුනාම
තරහා වෙලා ඔය හිත රිද්දුවම
මගේ හිත රිද්දන්න බැරි කමට
මාව පුදුම කරවන්න ගෙනත් දීපුවා
මට මතක නැතිව නෙමෙයි……
මට නොකියම මාව දාලා දුර ගියාට……..
මම තරහා නැතුව නෙමෙයි…….
තාත්තා නැති අඩුව දැනුනාම
තාත්තගෙ පින්තූරය දිහා බලාගෙන,
ඒ ආදරය මතක් කර කර
මම අඩන්නෙ නැතුව නෙමෙයි…………….

මොලයේ පිලිකා ඇතිවීමට ජංගම දුරකතනවල බලපෑමක් නැතිලු.

ජංගම දුරකතන භාවිතය හේතුවෙන් මොලයේ පිළිකා ඇතිවන බවට වන අදහස අසත්‍යයක් බව ඩෙන්මාර්ක පර්යේෂකයන් පිරිසක් පවසා සිටිති.‍

මොලයේ ඇතිවන පිළිකා සහ ජංගම දුරකතන සමඟ කිසිදු සම්බන්ධයක් නැති බව ඔවුන් උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය පෙන්වා දෙයි. ඩෙන්මාර්කයේ පිළිකා අධ්‍යයන ආයතනය විසින් වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් 3,50,000කට වැඩි පිරිසක් සහභාගී කරවා ගනිමින් කරනු ලැබූ පර්යේෂණයකින් මේ බව සනාථ වී තිබේ. 

සිය සමීක්ෂණයට සහභාගීකරවාගත් 3,58,403 දෙනෙකු අතරින් 356 දෙනෙකු ග්ලියෝමා නැමැති මොලයේ පිළිකා තත්ත්වයෙන්ද මධ්‍ය ස්නායු පද්ධතියේ ඇතිවන පිළිකා තත්ත්වයන්ගෙන් 846 දෙනෙකුද පෙලෙන බව හඳුනාගැනීමට හැකි වුවද ඔවුන්ගේ රෝග තත්ත්වයන්ට හේතුව ජංගම දුරකතන ලෙස සැළකිය නොහැකි බවද පර්යේෂකයෝ වැඩිදුරටත් පවසති. ජංගම දුරකතන භාවිතා නොකරන්නන් අතරද මෙවන් අනුපාතයක් දැකිය හැකි බවද ඔවුහූ වැඩිදුරටත් පෙන්වා දෙති.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් ජංගම දුරකතන හඳුන්වන්නේ පිළිකා කාරකයක් ලෙසයි. එබැවින් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තවමත් උපදෙස් ලබාදෙමින් පවසන්නේ වයස අවුරුදු 16ට අඩු නම් දුරකතන සබඳතා අත්‍යාවශ්‍ය ඇමතුම්වලට සීමා කරන ලෙසත් හැකිතාක් කෙටි කරන ලෙසත්ය.

කෙසේවුවද බීබීසී ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම පර්යේෂකයින්ගේ සමීක්ෂණයටද සීමාවන් තිබුණු බවයි. වැඩිපුර දුරකතන භාවිතයේ යෙදෙන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දුරකතන භාවිතා කරන්නන් වැනි අය මෙම සමීක්ෂණයට සම්බන්ධ කරගෙන නොමැති බවද එය පෙන්වා දෙයි.

හැරමිටියෙන් යනතුරු…….

ගේ පිටුපසින් හිරු බැස දුවන ඇඳිරියේ
පොල් තෙල් පහන දල්වා බුදුන් ඉදිරියේ
ගාතා කියන විට අප සිටින මැදිරියේ
ගත සිත නිවී සැනසෙයි මදුර සොඳුරියේ

කොස් දෙල් අල බතල කා සැනසී ඉඳුම
තරමේ සැපක් නැහැ එයටයි හිත ඇදුම
ඔබ වැනි ළඳකගේ ආදරයක බැඳුම
මම මහ පිනක් කොට සළකන්නෙමි පුදුම

වැඩිපුර මිනිස් පරපුර නැති වන පෙතක
ගමකින් ඈත කටහඬකුදු නැති අතක
පොඩි පැල්පතක ජීවත්වීමට හිතක
තිබු ආසාව ඔබටත් විය යුතු මතක

මේ ආදරය හැරමිටියෙන් යන තුරුම
එක වාගේම පවතීවා හැම යුරුම
සතුටුව ලද දෙයින් දිවිමඟ සැරි සැරුම
ඉහළයි! සොඳුර අපි නොදකින්නෙමු කරුම

හැර ගියේ ඇයි ද?………

දස මසක් කුස දරා
නිමක් නැති වේදනා
විඳ ගනිමි ඔබ වෙනුවෙන්…
මන්ද? ඔබ මගේ එකම පුතු…

 සිප් සතර පර තෙරට
දායාද කරන්නට
පියාඹන්නට ඉඟි කළෙමි
සයුරින් එතෙරට…

 බලා සිටියෙමි හැම විටම
ඇමතුමක් – කෙටි වදනක් ලැබෙන තුරු
කරුණාබර ඒ වදන්
විය සවනට සැනසුමක්…

 අහිංසා – මෙත් සිතින් සපිරුණු
ළෙන්ගතු හදක් උරුම විය ඔබට – අපට නැති
කිම මේ ලෙසින් සමුගන්න සිදු උණේ
සමිඳුනි! ඔහු කළ වරද කිම?
පැවසුව මැනවි – මවට පමණක්වත්…

 රුදුරු රකුසන් අතර
විය අවිහිංසක මුව පොව්වෙක් ඔබ
අපොහොසත් විය විනිවිද දකින්නට
රකුසන්ගෙ පිපාසය…

 අඳුරු වැහි බර රැයක
ඉටු විය රකුසන්ගෙ අරමුණ
පුතුනි මට කිව මැනව
කිසා ගෝතමියක් කළේ ඇයි මව…?

ගෙවුණු දවස…….

ගෙවෙන අපෙ ආදරේ
දෙවන වර ඉපදීම
සැමරුවා මං තනි ව
ලෝකයාට ම හොරෙන්…

ලද පුංචි කඩ ඉමත්
ඇති උණේ ළං වෙන්න
ළං නොවී බැරි නිසයි
ඒ තරම් දුර වැඩියි…

ඇති තරම් කටු ඇනල
රොන් බොන්න බඹරුනේ
නෑ කිසිම මැසිවිලක්
රෝස පෙති පැවසුවේ…

නුදුරු දිනයක නැවත
ඒ හිරු ම පායාවි
මධු විතක් මට පොවා
රස ගඟේ ගිල්ලාවි…

ආදරේ සැප පහස
මා ඔබෙන් ඉල්ලාවි
ඒ සතුට නිසාවෙන්
ගත සිතම නැළවේවි…

මිනිසාගේ දුර නෑයෙක් ළගදී හදුනාගනී.

මිනිසාගේ පරිණාමය සම්බන්ධයෙන් මෙතෙක් පිළිගත් සිද්ධාන්තයන් වෙනස් කරවන ඇටසැකිලි කොටස් දෙකක් සම්බන්ධයෙන් නවතම මතයක් පළවී තිබේ.

වසර මිලියන 1.9ක් පැරණි මෙම පොසිල සම්බන්ධයෙන් පළමුවෙන් අනාවරණය කෙරුණේ ‍2010 වසරේදීය. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි මලපා නම් ප්‍රදේශයේ පිහිටි ගුහාවකින් මෙම පොසිල සාධක හමුවී තිබිණි.

මෙම පූර්වජ පොසිලයන්ගේ විශේෂත්වයන් හේතුවෙන් ඒවා ඔස්ට්‍රෙලෝපිතකස් සෙඩිබා (Australopithecus sediba) ලෙස විද්‍යාඥයින් විසින් හඳුන්වන ලදී. ඒ සමඟින් මේ සම්බන්ධයෙන් ගැඹුරින් කරනු ලැබූ අධ්‍යයනයන්හිදී අනාවරණය වූයේ මෙම පොසිලයන් නූතන මානවයාගේ සෘජු පරිණාම පියවරයන්ට සමීප නොවන බවයි.

මේ බව අද (08 බ්‍රහස්පතින්දා) එක්සත් ජනපද විද්‍යා ජර්නලය මඟින් අනාවරණය කර තිබිණි. ‘දකුණු වානරයා’ හෙවත් ඔස්ට්‍රෙලොපිතකස් සෙඩිබා පිළිබඳව පර්යේෂණ පත්‍රිකා රැසක් ඒ තුළින් එළි දක්වා තිබේ.

ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ මහාචාර්ය ක්‍රිස් ස්ට්‍රිංගර් මහතා මෙම මානව හිස්කබල් ඇසුරින් කරනු ලැබූ අධ්‍යයනයන්ගෙන් පසුව පැවසූවේ මෙම මානවයාද නූතන මිනිසාට බොහෝ සමානකම් පෙන්වන බවයි. මෙම මානව සැකිල්ලේ හිස්කබල, ශ්‍රෝණිමේඛලාව අත් සහ පාද ඇසුරෙන් කරනු ලැබූ මිනුම් ඇසුරෙන් විද්‍යාඥයින් පවසන්නේ මෙම මානව පූර්වජයා හෝමෝ ඉරෙක්ටස් නම් ආදි මානවයාට සමීප නෑකම් පෙන්වන බවයි. එමෙන්ම මෙම මානවයා දෙපයින් සිටගත් කළ මීටර 1.3ක උසකින් යුතු වන්නට ඇතැයිද ඔවුහූ පෙන්වා දෙති.

එමෙන්ම මෙම මානවයාගේ දෑත් මිනිසාට සමාන වන අයුරින් දිගු මහපට ඇඟිල්ලකින් සහ කෙටි ඇඟිළිවලින් යුක්ත වේ. මෙම සැකිල්ලේ ශ්‍රෝණි මේඛලාව මිනිසාට සමීප බවක් දිස්වුනද එය වඩාත් සමීප වන්නේ නියැන්ඩර්තාල් මානවයාට බවද විද්‍යාඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති. එමෙන්ම සෙඩිබා මානවයාගේ කපාල ධාරිතාව ඝන සෙන්ටිමීටර් 420ක් තරම් වන බවද විද්‍යාඥයින් විසින් ගණනය කර තිබේ. මෙම කපාල ධාරිතාව සහ හිස්කබලේ ඉදිරිපස අස්ථි පිහිටීම් අනුව මෙම මානවකල්ප වානරයා චිම්පන්සීන් වැනි වානර විශේෂයන්ට වඩා නූතන මිනිසාට සමානකම් දක්වන බව පෙන්වා දෙන විද්‍යාඥයින් වැඩිදුරටත් පවසන්නේ වානර විශේෂයන්ගෙන් මිනිසා වෙනස්කම් පෙන්වන සිනාවීම වැනි සන්නිවේදන හැකියාවන්ද මෙම මානවකල්ප වානරයා සතු වූ බවයි.

එකම බෝතලෙන් වැඩි කලක් බීමෙන් පිළිකා අවදානමක්.

පානීය ජලය අඩංගු ප්ලාස්ටික් වතුර බෝතල් දිගුකාලයක් තිස්සේ භාවිතයට ගැනීමෙන් පිළිකා ඇතිවිය හැකිබවට වෛද්‍ය පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම බෝතල් හේතුවෙන් පිළිකා මෙන්ම මද සරු භාවය වැනි ගැටලු රැසක් ඇතිවිය හැකි බවයි.

මෙම පානීය ජල බෝතල් නිපදවා ඇත්තේ තුනී පොලිතින් වර්ගයක් වන ‘ටෙරාපැතලේට්’ (polyethylene terephthalate or PET) නැමැති ද්‍රව්‍ය භාවිතයෙන් නිපදවා ඇති අතර එය ක්‍රමයෙන් රත්වීමෙන් පිළිකා කාරකයක් වන ‘ඩයිඑතිල්හයිඩ්‍රොක්සිලැමයින්’ (diethylhydroxylamine or DEHA) නැමැති රසායනිකය නිපදවෙන බවට සොයාගෙන ඇත. එබැවින් ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ වෙළඳපොළේ අළෙවි කිරීමට ඇති ප්ලාස්ටික් ජල බෝතල් එක්වරක් භාවිතා කර ඉවත දැමිය යුතු බවයි.

එකම බෝතලයක් දිගින් දිගටම භාවිතා කිරීමේදී මෙලෙස නිපදවෙන ‘ඩයිඑතිල්හයිඩ්‍රොක්සිලැමයින්’ ජලය හෝ එම බෝතල්වල අසුරන පානවර්ග ඔස්සේ ශරීරගත විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.   එමෙන්ම ඒවා මිලදී ගැනීමේදී අව් රශ්මියට නිරාවරණය වූ බෝතල් මිල දී ගැනීමෙන් වලකින ලෙසද ඒ මහතා ඉල්ලා සිටී.

එමෙන්ම ‍මෙම ප්ලාස්ටික් වතුර බෝතල් අවිධිමත් ලෙස බැහැර ලීමෙන් පරිසර ගැටලු ගණනාවක් ද ඇතිවී ඇතැයි පරිසරවේදීහූ පෙන්වා දෙති. එමෙන්ම ජල බෝතල් පමණක් නොව බොහෝ මහාපරිමාණ බීම නිෂ්පාදකයන් භාවිතා කරන ප්ලාස්ටික් බෝතල්ද මෙම සෞඛ්‍ය ගැටලුව සහ පරිසර ගැටලුව ඇති කරන බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. එබැවින් මෙවන් ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව බැහැර කරලීම සඳහා විධිමත් ක්‍රියාමර්ගයක් රජය විසින් ඇරඹිය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

Follow

Get every new post delivered to your Inbox.