ස්වභාව සෞන්දර්යයේ ලාලිත්‍යවත් රිද්මය දෙව්ලොව හා සම කරන්නට ඔබට හැකි ද? නේක වර්ණයන්ගෙන් සුපුෂ්පිත පුෂ්පයන්, කන්කලු නාද රටාවන්ගෙන් සිත මන්මත් කරනා කුරුලු කූජනයන් හා නෙත් සිත් චමත්කාරයෙන් සනහාලන ඉඳුනිල් මිණි ජල දහරාවන්… තෙරක් නොපෙනෙන අහස්තලය සිඹ සිඹ සනහන කඳු ශිඛරයන්… මේ සියල්ල හා සුසංයෝගී වූ අනේක විධ සෞන්දර්යයන් හා ඒකාත්මික වූ විට දෙව්ලොව වඩාත් සුන්දර යැයි කිව හැක්කේ කෙසේ ද?
මේ මිහිතලයේ අපූර්ව විවිධත්වය තරම් අප නෙත සිත සනහාලන තවත් අරුමයක් වේද? සුන්දරත්වය විඳීමට නම් සුන්දර හදවතක් තිබිය යුතු බව ඔබ දන්නවාද? හිතක් සුන්දර වන්නේ සංවේදී මනසකින් හා විවෘත නෙතකින් ලොව දෙස බැලිය හැකි නම් බව ඔබ දන්නවාද? අප සියල්ලන් ම ජීවත්වන්නේ මේ එක ම මිහිතලය මතයි. මේ මිහිතලයේ අපූර්ව නිමැවුම් සියල්ල නිර්මාණය වී ඇත්තේ අප සියල්ලන් ම උදෙසා ය. එහෙත් ඒ සුන්දරත්වය විඳින්නේ දකින්නේ කීයෙන් කී දෙනා ද?
නාගරික පරිසරයේ ඒකාකාරිත්වයෙන් යුතුව පූට්ටු කොන්ක්‍රීට් ගොඩනැඟිලි නිති පතා දකින අප ඒ අතරේ පවතින අතිශය ඉසියුම් සොබාදම් නිර්මාණ වෙන් කොට ගෙන රස විඳින්නට හුරු වන්නේ නම් ජීවිතය කෙතරම් සැහැල්ලුවට පත්වේද? මහ අනෝරා වැස්සේ වැස්සට නොබැන, ඒ වැස්ස ඔබට එක් කළ කරදරය ගැන නොසිතා වැස්සේ චමත්කාරය ගැන ඔබට සිතිය හැකි නම්… මහ වැස්සෙන් බේරීමට කුඩා කුඩයක් ඉහළා ගෙන අනේක වාරයක් වැස්සට සිතින් දොස් පවරමින් සිටින නිමේෂයක ඔබ අබියස තාර පාර මතට වැටෙන වැහි බිඳු උක්මලක් මෙන් විසිරී යන අයුරු විඳින්නට හැකි නම්, ඔබ අමන්දානන්දයට පත්වනු ඇත.
ගම්බද නාගරික බේදයකින් තොරව ඕනෑ ම ගෙවත්තකට පියඹා එන පොල්කිච්චා නොනවත්වා විනාඩි 10 ක් පමණ ගයන ශෝකී ගී රාවය නිසොල්මන් ව අසා සිටින්නට ඔබට ඉසිඹුවක් ලැබී තිබේද? කවුඩු පනික්කියන් එකිනෙකාගේ මුහුණ දෙස බලාගෙන පැය ගණන් තොරතෝංචියක් නොමැතිව කතා කරන්නේ මොනවා දැයි ඔබ මොහොතකටවත් සිතා තිබේද? කොළඹ නුවර මාර්ගයේ බැලුම්මහර හන්දියේ වෙල්යායත් සමඟ පාරට මායිම් ව තිබෙන ගස් සමූහයේ හැන්දෑ කළුවර වැටීගෙන එන නිමේෂයට නන් දෙසින් පියඹා එන කොක්කු රෑන් ලැඟුම් ගන්නා අයුරු ඔබ දැක ඇතුවාට සැක නැත. සවස හත පමණ වන විට ගසේ එක කොළයක් හෝ නොපෙනෙන තරමට ඒ ගස් කොක්කුගෙන් වැසී යයි. එය ඈතට දිස්වන්නේ සුදු මල් පොහොට්ටු සමුදායක් ලෙසිනි. සැදෑ කළුවර පරයමින් නැඟෙන සුදෝ සුදු මල් පොහොට්ටු වියනක් හා අනන්තය නොපෙනෙන අහස්තලය සිතට එක්කරන චමත්කාරය කෙතරම් ද? ඔබ දිනපතා පසුකරගෙන යන මඟ තොට ඉඳහිට හමුවන සොබා දහමේ අපූර්ව නිමැවුම් ඔබේ නෙතට සුවිශේෂී ව හසුවන්නට නම් ඔබ සොබාදහමට ආදරය කරන්නට පටන් ගත යුතු ය.
සොබා දහම අපට දෙන්නේ ලොව අනර්ඝතම හා වටිනා ම දේ බව ඔබ, ඔබ මනසට ඒත්තු ගන්වන්නේ නම් මේ ලොව පවතින සියලු දේ සුන්දර බව ඔබට වැටහෙනු ඇත. ඒ සුන්දරත්වය පෙරළා ඔබේ ජීවිතය වඩාත් හැඩ ගස්වන බව ද ඔබට වැටහෙනු ඇත. සොබාදහමට අසීමිත ව ආදරය කරන්න. පෙරළා සොබාදහම ඔබ නිවා සනහාලනු ඇත.
Filed under: අත්තර් ජාලය ඇසුරෙන්, අධ්‍යාපනික, පත්තර ඇසුරින් Tagged: | 2600 සම්බුද්ධත්ව ජයන්තිය, Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, නිරෝෂා ලක්මාලි, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුංචි කෙල්ලකුගේ සිතුවිලි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, batuwangala, batuwangala e-village, batuwangala evillage, batuwangala Maha Vidyalaya, bmv, Evillage, Mother ஸ்ரீ ලංකා, Nirosha Lakmali










